කඩිනම් කිරීමක්

ඉරිදා දවල්ට කාලා මල්ලියි මමයි නුවර ආවා. මල්ලී මාත් එක්ක රෑ නොනැවතී කොළඹ යන නිසා කෙලින්ම දුම්රියපොලට ගියා. මම දුම්රියපොල ලඟම මහ තැපැල් කන්තෝරුවෙන් පීටර්ට කේබල් පනිවිඩයක් යැව්වා.
    ආරංචි ගැන බොහොම සන්තෝසයි. මම ඉන්නේ නුවර, වැඩ කරන්නේ ඒ කිට්ටුවමයි. මගෙ ඇඩ්ඩ්රස්, ටෙලිෆෝන් නොම්බර එහෙම මේ කේබල් එකේ අන්තිමට. නුවර මාත් එක්ක නවතින්න පුළුවන්. අපෙ ගමෙත් දවසක් වත් ඉන්න ඕනෑ. යන්න කැමති තැන් කිව්වොත් මම මෙහෙ ඕනදේ ලෑස්ති කරන්නම්. එන දවස්, ඉන්න කල් එහෙම මට ඉක්මනට දන්වන්න. පීටර් එක්ක ලංකාවේ බීර වීදුරුවක් දෙකක් බොන්න බලාගෙන ඉන්නේ. බායි! – ලලිත්
වතීමත් පීටර්ගෙ ලියුමෙන් පරණ බ්රිස්බන් ජීවිතේ මතක්වීමත් නිසා වෙන්න ඇති. මම ඇඳේ හාන්සිවෙලා සති අන්තයේ සිදුවීම් නැවත මෙනෙහි කරා.

අම්මා මහින්ද ගැන මගෙන් ඇහුවේ මල්ලියි නංගියි දවල් කෑමෙන් පස්සේ කඩමන්ඩිය පැත්තේ ගිය වෙලාවේ.

“ඔය මහින්දගෙ කට්ටිය පල්ලෙහා පලාතේ නේද ලොක්කා?”

“කොල්ලා හොඳනම් මේ කාලේ ඕවා බලලා වැඩක් නෑ අම්මා…”

“අනේ මංදා… ලොක්කා දන්නවා අපි ගම්බද මිනිස්සු… අප්පච්චී හිටියානම් මොනවා කියයිද?”

“අම්මා… අම්මා දන්නවා අපිට හැමදාම ‘අප්පච්චී මොනවා කියයිද?’ කියලා කරන නොකරන දේ තීරණේ කරන්න බෑ කියලා… දැන් පදිංචිය පානදුරේ වුනාට ජයවීර ජෝඩුව ලංකාවේ හුඟක් පලාත් වල වැඩ කරලා තියෙනවා…. ඒ අයට උඩරට පාතරට කියලා ගානක් නෑ. අනික මහින්ද කුරුනෑගලට ආවේ ඉල්ලලාම මාරුවක් හදාගෙනලු - නංගී අඳුනාගන්නත් ඉස්සර. ජයවීරලා ඉබ්බාගමුවේ වැඩ කරපු දවස්වල මහින්ද කුරුනෑගල ඉස්කෝලේ ගිය නිසා… මං හිතන්නේ අම්මා මිනිහට බලමාළු වලට වැඩිය පුරුදු පොලොස් ඇඹුල්! අනික… මං හිතන්නේ අප්පච්චී හිටියා නම් කියයි ‘සිරික්කිට හොඳනං ආයෙ අපි මොනවා කියන්ටද?’ කියලා”

“අනේ මන්දා ලොක්කා… මං මෙහෙම හිතන්නේ ඒකී අපෙ එකම කෙල්ල හින්දා… අනික පවුලේ ඉස්සරවෙලාම කසාද බඳින්නේ ඒකී… ඉතින් එතකොට අප්පච්චී මතක්වෙනවා…”

මට අම්මා ගැන ලොකු දුකක් ඇතිවුනා. නංගී කසාද බැඳීමෙන් අම්මගෙ ජීවිතෙත් විශාල වෙනසක් සිද්ධ වෙනවා. අපි ඒ ගැනත් හිතන්න ඕනෑ. මේ වගේ වෙලාවක අප්පච්චී සිහිවීම පුදුමයට කාරණයක් නෙවෙයි. පවුලේ වැඩිමලා හැටියට මටත් මෙතන වගකීම් තියෙනවා.

“මං කියන්නද අම්මා - මහින්ද නැහැදිච්ච එකෙක් එහෙම නම් මම ඌට දෙකක් දෙන්නං තරු පෙනෙන්ට!”

අප්පච්චී ඒ දවස්වල විහිළුවට පාවිච්චි කරපු තර්ජනයෙන් අම්මගෙ මුහුණේ පොඩි හිනාවක් නැගී ආවා.

මහින්ද ඇවිත් ගියාට පස්සේ අම්මගෙ හිතේ තිබුන සාංකා සේරම වාෂ්පවෙලා ගියා වගේ.

“අනේ හොඳ කොළුවා!”

අම්මා කිව්වේ එච්ච්රයි. හැබැයි ඒ වචන තුනේ පොතක් පුරවන තරම් සතුට ගැබ්වී තිබුනා.

……………………………………

මේ අවුරුද්දේ පාස්කු වැටිලා තිබුනේ මාර්තු 26ට. හුඟක් ආයතනවල 24 මහ සිකුරාදයි පාස්කු වලට පස්සේ සඳුදයි නිවාඩු. ඒ කියන්නේ දිග සති අන්තයක්. මේ කාලේ භක්තිමත් මයිකල්-කෙලේලා පවුලත් පාපුවානිව්ගිනී කට්ටියත් ක්රිස්තියානි චාරිත්ර වලට අනුව පල්ලි සම්බන්ධ ආගමික කටයුතු වල යෙදුනා. නමුත් බෞද්ධයෝ හැටියට නීලටයි මලික්ටයි මටයි මෙ කාලය දිග සති අන්තයක් පමණයි.

මලිකුත් මමත් ඒ සති අන්තයෙත් දුම්රියපොලේ රැකියාවලට ගියේ අතිකාල දීමනාත් ලබමින්. ඒ නිසාමයි මම නීලයි මලිකුයි එක්ක රෑ කෑමට ලඟම පබ් එකට ගියේ.

“ලලිත්?”

පබ් එකේ කොනක වාඩිවෙලා බීර වීදුරුවක් තොලගාමින් හිටි හැඩි දැඩි කළු මිනිහා මට එක් වරම හඳුනාගන්න බැරිවුනා. මිනිහා නැගිටලා ඇවිත් මට අතට අත දුන්නා.

“ජෝසෆ් කෝපා - බෝගන්විල් දූපතෙන්…”

“හලෝ ජෝ! සමාවෙන්න හඳුනාගන්න බැරිවුනාට… තනියම? ඇයි අපෙ මේසෙට එන්නෙ නැත්තේ?”

ජෝ ටිකක් අදි මදි කරා. මලික් නීලත් එක්ක බීම විකුණන බාර් කවුලුවට යනවා දුටු ඔහු මට කතාකළේ බිම බලාගෙන.

“මට ලලිත්ගෙන් අහන්න දෙයක් තියෙනවා… ඒක ලලිත් එක්ක විතරක් කරොත් හොඳයි කියලා මං හිතන්නේ…”

මම වහාම තීරණයක් ගත්තා. ජෝට හිසෙන් එකඟත්වය පෙන්වලා මම මලික් ලඟට ගිහින් කතා කරා.

“මට මොකුත් ගන්න එපා. අර බෝගන්විල් වලින් ආ ජෝ කෝපා කිව්වා මාත් එක්ක කතා කරගන්න මොකද්දෝ තියෙනවා කියලා… මං පස්සේ කියන්නම්”

මම ජෝ එක්ක වාඩිවුනේ දෙන්නටම බීර අරගෙන.

“මොකද ජෝ? ප්රශ්නයක්ද?”

පෙනුමෙන් හැඩි දැඩි වුනාට ජෝගේ කටහඬ ඉතාම මෘදුයි. කතාකළේ පොඩි හිනාවක් පෙන්වලා.

“අර අපෙ අන්තිම මීටිමේ කියපු විදිහට බෝගන්විල් කට්ටිය වෙනම කවයක් හදාගන්න තීරණේ කරා… ඒ වැඩිපුරම අපි හයදෙනාට කතා කරගන්න තියෙන දේ අනික් අයට වැදගත් නැතිවෙයි කියලා හිතුන නිසා… ඒක අර අනික් අයට කියන්න ඉස්සර ලලිත්ට කියන්න හිතුවේ අපි බ්රිස්බන් කට්ටිය නිසා… මං හිතාගෙන හිටියේ දවසක් ඇවිත් ලලිත්ලා හම්බවෙන්න, ටොම් මාරුත් එක්ක - අපි එක ගෙදර ඉන්නේ…”

“මං වැඩ නැති ඕන වෙලාවක එන්න… හොඳයි බෝගන්විල් කවයක් හදා ගන්න එක - අපි ඕන උදව්වක් දෙන්න කැමතියි…”

“තැන්ක්යූ ලලිත්… අ… මම ලලිත් එක්ක තනියම කතා කරන්න තව හේතුවක් තියෙනවා…”

ඒ සැරේ ජෝ කතාකළේ සෑහෙන අපහසුවකින් වගේ බිම බලාගෙන.

“…දැන් අපි ඉන්න තත්වේ බැලුවොත් ලලිත්ලයි අපියි අතර ලොකු වෙනසක් තියෙනවා… මං දන්නෙ නෑ ලලිත් ඒ ගැන හිතලා තියෙනවද කියලා…”

“මොකද්ද ජෝ? අපි සේරම එක වලේම නේද වැටිලා ඉන්නේ?”

අපිට පාස්පෝට් තියෙනවා!

මම විනාඩියක් ඒ ගැන හිතලා බැලුවා. ඇත්තටම බෝගන්විල් හය දෙනාටයි ඩේවිඩ් ඩෙල්ගාඩොටයි පාස්පෝට් ප්රශ්න නෑ…. ඒ අයගෙ දූපත් නැතිවුනත් රටවල් නැතිවෙලා නෑ. මේ වෙනස අපිට වැදගත් වෙන්නේ කොහොමද කියලා මා දැනුවත් කිරීම මම ජෝටම බාර දීලා නිහඬවුනා. මගෙ කට වැඩ නොකරත් මොලේ නම් හැටට හැටේ දුවනවා!

“එදා සුරාජ්… එයාගෙ නම සුරාජ් නේද? එදා සුරාජ් පාස්පෝට් නැති අයට තියෙන ප්රශ්න ගැන කතා කරපු වෙලාවේ මට හිතුනේ ඒක අපිට නැති ප්රශ්නයක් කියලා… අපෙ රට, පාපුවා නිව්ගිනී තවම තියෙන නිසා මගෙ යුනිවසිටි ස්කොලශිප් එක තවම තියෙනවා. මගෙ ඉගෙනීමවත් රස්සාවක් කිරීමවත් ප්රශ්නයක් වෙන්නෙ නෑ… නමුත් මම වැඩකරපු තැන, මම වැඩකරපු බෝගන්විල් වල ‘පැන්ගුනා’ පතල එහෙම දැන් නෑ… ඒක නිසා මට වෙන ප්රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා…”

ඇත්තටම අපිට තියෙන පාස්පෝට් ප්රශ්නේ නැති ජෝසෆ්ලට වෙන ප්රශ්න තියෙයි අනාගතේ.

“මොකද ජෝ අපෙන් කෙරෙන්න ඕනෑ… උදව්වක් ඕන නම්…”

“නෑ නෑ ලලිත් ඒක නෙවෙයි මට කියන්න ඕනවුනේ…”

මම සද්ද නැතුව අහගෙන හිටියා ජෝ කතා කරනතුරු.

“ලලිත් දන්නවා නේද අපිට නිදහස ලැබුනේ දැනට අවුරුදු දෙකකට ඉස්සර. අපි අලුත් රටක් කියන්න පුළුවන් - මිනිස්සු පරණ වුනාට! ඔස්ට්රේලියාවෙන් පාලනය වුන නිසා නීති රීති මෙහෙ වගේමයි නමුත් ටවුන් වලින් ඈත මිනිස්සු තවම ඉන්නේ ඉස්සර වගේමයි”

කතාව කොහෙ යනවද නොදත් මම සද්ද නැතුව අහගෙන හිටියා. ජෝටත් මේක තේරුනා.

“ලලිත් හිතනවා ඇති මොන හේතුවකට මම මේවා කියනවද කියලා…. හේතුව මේකයි - අපෙ රටේ ඈත පලාතකින් ආපු කෙනෙකුට උප්පැන්න සහතික වගේ දේ නැතිවෙන්න පුළුවන්… ඒ වගෙ දේ ගැන සොයා බලන්න ආන්ඩුවටවත් බෑ… එ කියන්නේ, මං ඉපදුන මැඬෑං වගේ පලාතක ඉපදුනා කියලා ලලිත්ටත් පාපුවා නිව්ගිනි පාස්පෝට් එකක් ගන්න බැරි වෙනඑකක් නෑ…”

මෙහෙම කී වහාම ජෝසෆ් නැගිටලා බීර විකුණන තැනට ගියේ මා දිහා නොබලා. මට දැනුනා මිනිහා එහෙමකළේ මට නිවිහැනිහිල්ලේ හිතන්න ඉඩ දෙන්න කියලා.

ජෝ කියන්නේ මට විශ්වාස කරන්නත් අමාරු කතාවක්. ලංකාවේ පාස්පෝට් ගැන නීති රීති ඉතාම තදයි, මම දන්න තරමට. වෙන එකක් තියා මගෙ ගමන් බලපත්ර ඉල්ලුම්පත්රයත් එක්ක කන්තෝරුවෙන් ලියුමකුත් දෙන්න සිද්ධවුනා මේ අත්යාවශ්ය පිටරට ගමනක් කියලා. 1973 මම ‘හොර පාස්පෝට්’ ගැන අහලාවත් තිබුනෙ නෑ.

ජෝ ආපහු ආවේ බීර දෙකකුත් හපන්න රටකජු පැකට් එකකුත් අරගෙන.

“ජෝ… මේ පාස්ස්පෝට් වැඩේ… මේක නීතියට විරුද්ධ හොර වැඩක් නේද?”

ජෝ හිනාවුන.

“සම්පූර්ණෙන්ම හොර වැඩක්! ඒකයි මම අනික් අයට නොකියා ලලිත්ට විතරක් කියලා බැලුවේ…”

“එතකොට මෙකෙන් ජෝට ගෝරි වැටෙයිද?”

“මටයි මගෙ පවුලේ අයටයි… ඒ අය තමා ඉල්ලුම්පත්ර බාර දෙන්නේ ලලිත් වෙනුවෙන්… ඒක මහ කාරියක් නෙවෙයි…”

“ඇයි ජෝ මේක කරන්න ඉදිරිපත්වුනේ? ඇයි පවුලේ අය ගාවගන්නේ?”

ඒ සැරේ ජෝ ටිකක් කල්පනා කළා. උත්තර දුන්නේ කෙලින්ම මා දිහා බලාගෙන.

“ලලිත්ම නේද කිව්වේ අපි එක වලේ වැටිලා ඉන්නේ කියලා? අපි අපි උදව් නොකරොත් ආයෙ කවුද අපිට උදව්වට ඉන්නේ?”

“නමුත් නීති කඩකරලා?”

ඒ සැරේ ජෝ මා දිහා බැලුවේ අමුතු විදිහකට.

“එතකොට ලංකාවේ නීති? ඒවා කඩ කරාට ප්රශ්නයක් නෑ? ඒ නීතිත් රට වගේම නැතිවෙලා ගිහින්ද?... ලලිත්… නීති හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ උදව්වට මිස උන්ට කරදර කරන්න නෙවෙයි. ඒ අනුව, මම තීරණේ කරා ලලිත්ට උදව් කරන්න… මගෙ පවුලේ අයත් ඒකට මට උදව් දෙනවා… මෙතන මගෙ තව වෙනසක් - ලලිත්ට වගේ නෙවෙයි මට පවුලේ අය ඉන්නවා මැඬෑං වල. බෝගන්විල් දූපතයි රස්සාවයි නැතිවෙලා ගියාට මම සම්පූර්ණෙන්ම අනාථ වෙලා නෑ ලලිත්!”

මට ජෝසෆ් කෝපා ගැන ලොකු පැහැදීමක් ඇතිවුනා. තමාගේ කරදර ගැන නොහිතා මෑත හමුවූ මට උදව් කිරීමට ඉදිරිපත්වීම මෙන්ම එයට පවුලේ අයත් බඳවා ගැනීම උසස් මිනිස් ගතිගුනයක් යයි මට හිතුනා.

“තැන්ක්යූ ජෝ - ඉතාම උදාර, තාග්යශීලී යෝජනාවක්… මේ ගැන අනික් අයට කිව්වට කමක් නැද්ද?”

ජෝ ටිකක් අදි මදි කරා.

“හුඟක් අය ගාවා ගත්ත තරමට අවදානම වැඩියි කියලා මට හිතෙන්නේ… අපිට බැරිද ලලිත්ගෙ නම, පින්තූර, උපන් දින එහෙම පාවිච්චි කරලා මේක හරියයිද බලන්න? හරි ගියොත් හෙමින් හෙමින් අනික් අයත් එකතු කරගන්න පුළුවන්… ඔයාගෙ බ්රිස්බන් යාළුවෝ දෙන්නට විතරක් මේ ටික කිව්වට කමක් නෑ… දැනට අනික් අයට නොකියා හිටියොත් හොඳයි… මම අපෙ බෝගන්විල් කට්ටියටවත් කිව්වෙ නෑ…”

……………………………………..

අලුත් අවුරුද්දටත් ඉස්සර අම්මා කියපු ‘හොඳ කොලුවගෙ’ පවුලේ අය ‘ගෙදරදොර බලන්න’ ආ ගමන කිසිම ප්රශ්නයක් නැතුව කෙරුනා. එදත් මල්ලියි මමයි ගෙදර ආවේ අව්ශ්ය කෑම බීම ටිකකුත් පොදි බැඳගෙන.

ජයවීර පවුල හරියට වෙලාවට මිදුලට ගොඩවුනා. මට ඒ වෙලාවේ හිතුනේ ඒ අය වාහනේ පාරේ නවත්තලා ටිකක් වෙලා එතන ඉන්න ඇති කියලා, එකඟවුන වෙලාවට කළින් නොඑන්න. අමුත්තෝ පිළිගන්න ඉදිරියට ගියේ අම්මයි මමයි.

“ආ එන්ට එන්ට… ගෙදර හොයාගන්ට අමාරුවුනාද?”

අම්මා ඉස්සරහට ගියේ අත්දෙක එකතුකරලා ආචාර කරමින්. මමත් ඒ එක්කම ගිහින් හඳුන්වාදීම් කළා.

“මේ අපෙ අම්මා. මම කුමාරිගෙ අයියා, ලලිත්; අර කොනේ ඉන්නේ පවුලේ බාලයා අනුර…”

‘විරුද්ධ පක්ෂය’ හැඳින්වීම කළේ මහින්ද.

“මේ මගෙ අම්මයි තාත්තයි… අ… මම මහින්ද… ස්තුතියි අපිට ආරාධනා කරාට… සන්තෝසයි හමුවෙන්න …”

මිස්ට ජයවීරට වැටහුනා පුතාගෙ කතාව ටිකක් චාරිත්රානුකූල වැඩියි වගේ කියලා.

“මහින්ද… පුතා… මිසිස් මීගස්තැන්නට තේරෙනවා අපි කවුද කියලා මං හිතන්නේ… නෑ මිසිස් මීගස්තැන්න අපිට ගෙදර සොයාගන්න කිසිම අමාරුවක් වුනේ නෑ… හොඳ වෙලාවට පාරේ වැඩිය වාහන තිබුනෙත් නෑ වැස්සත් නෑ”

අපි ටික වෙලාවකින් තේ මේසේ ලඟ වාඩිවුනේ කලක සිට දන්නා හඳුනන අය වගේ. කතාවුන මාතෘකා එකින් එකට පැන්නේ රටාවකට නෙවෙයි. නමුත් කතවේ කිසිම හිස්තැනක් තිබුනෙ නෑ.

“මිසිස් මීගස්තැන්න මෙහෙ දේශගුණේ නම් හොදටම අල්ලනවා; අපෙ පලාතේ වගේ ගිනි අව්ව නෑ”

“හැබැයි ඉතින් වැස්ස කාලෙට තමා කරදරේ…”

“ඔවු …. කුඹුරු වලට වතුර නැතුවත් බෑ… මෙ පලාතේ මහ කන්න කොළදින් වැටෙන්නේ කොයිකාලෙද?”

“අපෙ ඒවා මාර්තුවට තමා - හැබැයි සමහර කුඹුරු වල තවම කොළදින්…”

කුඹුරු ගැනයි, මගෙ පිටරට කාලේ ගැනයි, ජයවීරලා රස්සා කරපු පලාත් ගැනයි කතා වලට මහින්ද වැඩිය සහභාගිවුනේ නෑ. ඒ නිසා වෙන්න ඇති මල්ලී කතා කරේ.

“මහින්ද අයියා එන්ට අපෙ ඕකිඩ් මල් බලන්ට”

අපෙ පවුල එකතුව තීරණයක් අරගෙන තිබුනා පරණ තාලෙට නංගී ජයවීර පවුලට බුලත් ප්රධානය නොකරන්න. නංගී මහින්ද හරහා ඒ පනිවිඩය ජයවීර ජෝඩුවටත් දන්වලා තිබුනේ. ඒ අනුව, මල්ලී මහින්දව එලියට එක්ක ගිය වෙලාවේ නංගිත් තේ මේසෙට ආවා. මා දුටු විදිහට ජයවීර ජෝඩුව ඇත්තටම සතුටු හිනා මුහුණින් නංගිත් එක්ක කතා කරේ. මටත් ලොකු සතුටක් දැනුනා - නංගිගෙ වැඩේ හරියයි කියලා.